Monday, May 6, 2024

බලශක්ති කළමනාකරණය තුළින් අළුතෙන් විදුලි බලාගාර සෑදීම අවම කරගත හැකියි…..

“මගේ අමාත්‍යාංශය යටතේ තිබෙන වැදගත් ආයතනයක් සුනිත්‍ය බලශක්ති අධිකාරිය. ඒ වගේම බලශක්ති කළමනාකරණය කියන්නේ ඉතා වැදගත් කාරණයක්. විදුලි පරිහරණයේදී ආණ්ඩුවක් හැටියට අභියෝග කිහිපයකට මුහුණ දෙනවා. ඒ තමයි අවම මිලක් යටතේ අඛණ්ඩව කාර්යක්ෂම විදුලියක් ලබාදීම. ආයතනයක් වශයෙන් විදුලිය පරිහරණය සඳහා වැයවන වියදම අවම කරගත යුතුයි. බොහෝ දෙනෙක් සාකච්ඡුා කරන  කාරණය තමයි රටට කොපමණ බලශක්තියක් අවශ්‍යද එය ලබාගන්නේ කොහොමද කියන එක. ආණ්ඩුවක් විදිහට වගකීමක් තිබෙනවා බලශක්තිය ලබාදෙන කාර්යය තහවුරු කරන එක. ඒ සඳහා බලාගාර හදන්න අපි සාකච්ඡුා කරනවා. නමුත්  රටේ බලශක්ති කළමනාකාරණය මගින් රටට අවශ්‍ය බලශක්ති විශාල ඒකක ප‍්‍රමාණයක් ඉතිරි කරගත හැකියි. ඒ තුළින් අළුතින් බලාගාර ස්ථාපනය කරන කාර්යය අවම කරගත හැකියි” යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ ගුවන් හමුදා කඳවුරුවල බලශක්ති සංරක්ෂණය සිදුකිරීම සඳහා පත්කර ඇති ගුවන් හමුදා බලශක්ති කළමනාකරුවන් වෙත සහතිකපත් ප‍්‍රදානය කිරීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරේ පසුගියදා පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි. ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා …,
“අපි බලශක්තිය නාස්ති කරන සෑම විටම විදේශයන්ට අපේ ජාතික ධනය වැය කරනවා.  ඒ නිසා අපි විදුලිය ඉතිරි කරනවා කියන්නේ මේ රටේ දේශපේ‍්‍රමියෙක් සතු යුතුකමක් ඉටුකිරීමක්. ඔබ මේ මාතෘභූමිය වෙනුවෙන් රුධිරය හෙළපු, ජීවය පරිත්‍යාග කරපු වීරොදාර රණවිරුවන්. දැන් යුද්ධය අවසන්. නමුත් අපට හමුදා බලය අවශ්‍යයි. ඒ හමුදා බලය අප පවත්වාගෙන යද්දි රටට අවශ්‍ය උපරිම දායකත්වය ලැබෙන පරිදි පවත්වාගෙන යාම ඔබේ යුතුකම. ඒවාට සැලසුම් සකස් කිරීම දේශපාලඥයින් වන අපේ යුතුකම.  මේ රටේ බලශක්තිය ඉතිරි කරන්න ඔබ ඉදිරිපත් වීම, ඔබගේ දේශපේ‍්‍රමිත්වය නැවත වරක් රටට, ලෝකයට පෙන්නුම් කිරීමක්. ඉතිරි කරන සැම විදුලි ඒකකයකටම මේ රටට යමක් ඉතිරි වෙනවා. රට පෙහොසත් වෙනවා. ඔබේ දරුවන්ට යමක් ඉතිරි වෙනවා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්.

බලශක්ති කළමණාකරුවන් වෙත සහතිකපත් ප්‍රධානය කරන අමාත්‍යවරයා
බලශක්ති කළමණාකරුවන් වෙත සහතිකපත් ප්‍රධානය කරන අමාත්‍යවරයා

මෙම පාඨමාලාව තුළින් රටේ තිබෙන විශාලම ගුවන් හමුදා කඳවුර වන මෙම කඳවුරේ බලශක්ති වැයවීම අවම කරගත හැකිනම් එය අපේ අමාත්‍යාංශයේ ජයග‍්‍රහණයක්. විශේෂයෙන්ම බලශක්ති නාස්තිය සිදුවන ප‍්‍රධානම මාර්ගයක් තමයි යල්පැන ගිය උපකරණ සහ පරිපථ භාවිතා කිරීම. එවැනි දෝෂ සහිත පරිපථ හඳුනාගැනීම සඳහාත් මෙම පාඨමාලාව වැදගත් වෙනවා. ඒ තුළින් අවම වියදමකින් ඉහල ප‍්‍රතිඵලයක් ලබාදෙන බලශක්ති කළමනාකරණ වැඩපිළිවෙලක් සඳහා අපට යා හැකියි” යැයි පැවසීය.

මෙම අවස්ථාවට කටුනායක ගුවන් හමුදා කඳවුර අණ දෙන නිළධාරී ගුවන් කොමදෝරු පතිරණ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම් එම් ආර් පද්මසිරි යන මහත්වරු ඇතුළු බලශක්ති කලමනාකරුවන් මෙන්ම ගුවන් හමුදා නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles