Tuesday, May 7, 2024

මුතුරාජවෙල දී යහපාලනය අන්ධද?

ශ්‍රී ලංකාවේ සංරක්ෂණය කලයුතුම අභයභූමි අතර ඉදිරියෙන්ම නම කියවෙන අගනුවරට ආසන්නම තෙත්බිම් පරිසර පද්ධතිය වන මුතුරාජවෙල අභයභූමියට කණකොකා නැවත හැඬලීමේ අවදානමක් වාර්තා වේ. මින් පෙර රජය සමයේදී ක්‍රියාත්මක කරන්නට උත්සහ ගෙන පරිසර සංවිධාන සහ පරිසරවේදීන්ගේ දැඩි විරෝධය මත හකුලාගත් “බෝපිටිය සුඛෝපබෝගී නගර ව්‍යාපෘතිය“ නැවත යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කිරීමට උත්සහ ගනිමින් තිබේ.

කොළඹ සිට මීගමුව දක්වා අධි තාක්ෂණික දුම්රිය මාර්ගයක් සහ ඒ සමගම සුඛෝපබෝගී නගර දෙකක් ඉදිරිකිරීමට ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ ඉහල නිලධාරීන් සහ අදාල සමාගමේ නිලධාරීන් පමණක් නොව මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ද සහභාගිත්වයෙන් ගිවිසුම් අත්සන් කිරීම සිදුවිය.

මැලේසියාවේ Airport Express Air and Rail Company (Pvt) Ltd නැමති සමාගම උක්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මුලින්ම උත්සාහ දරුණේ ශ්‍රී ලංකා ආයෝජනා මණ්ඩලය වෙත ඉදිරිපත් කරනලද 2012 දෙසැම්බර් 13 දිනැති අයදුම්පත්‍රය මගිනි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා අදාල ඉඩම් නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන හා මහා ව්‍යාපෘති පිළිබඳ විධායක අධ්‍යක්ෂ ශිවන් ද සිල්වා විසින් EC/4/1718/12 අංක දරන ලිපිය මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ඉල්ලීම් කර තිබුණේ 2013 දෙසැම්බර් 05 වැනිදාය. මෙම ව්‍යාපෘතියට අදාලව කෙරවලපිටිය හා බෝපිටිය ප්‍රදේශවල සුඛෝපභෝගී නගර දෙකක් ඉදිකිරීමට නියමිත අතර එයින් බෝපිටිය නගරය ඉදිකිරීමට නියමිතව ඇත්තේ ජාඇළ ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට යාබද මුතුරාජවෙල  අභයභූමියට අයත් ඉඩම් අක්කර 150ක භූමියක් යොදා ගනිමිනි. මේ සම්බන්ධයෙන් එල්ලවූ විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය හකුලා ගැනීමට එවකට බලධාරීන් කටයුතු කලද යලිත් මෙසේ ඉතිහාසයේ සිදුවීමට ගිය වරද යලිත් සිදුකිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ මුතුරාජවෙල අභයභූමියට යහපාලනයෙන් වත් සහනයක් අත් නොවේද යන ගැටළුව අප හමුවේ ඉතිරි කරමිනි. මීට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී ඇති බව දැනගන්නට ලැබී තිබේ.

අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් නියත වශයෙන්ම මෙම වටිනා තේත්බිම් පරිසර පද්ධතියේ විනාශය සිදුවන බව පැහැදිලිය. දැදුරු ඔය, කැළණි ගඟ මෙන්ම මුතුරාජවෙලදී ද යහපාලන ආණ්ඩුවේ ඇස්ගෙඩි වලට හෙණ ගසා ඇත්ද යන්න ප්‍රශ්න කල යුතුය.

1989 වසරේදී ආසියානු තෙත්බිම් නාමාවලියේ අන්තර්ජාතිකව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත්බිම් 41 අතරට ඈතුලත් කරනලද මුතුරාජවෙල තෙත්බිමට අයත් හෙක්ටයාර් 1029ක භුමි ප්‍රමාණයක් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනත යටතේ 1996 ඔක්තෝබර් මස 31 වැනි දින අංක 947/13 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. මෙහි දැනට වාර්තාවී ඇති සත්ව කාණ්ඩ 07 කට අයත් විශේෂ 449 ක වනජීවීන් ප්‍රමාණය මෙහි  ජෛව විද්‍යාත්මක අගය කියාපාන අතරම ඒ අතරින් විශේෂ 26 ශ්‍රී ලංකාවට අවේණික වීමද සුවිශේෂී කරුණකි.

ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය විසින් මේ පිළිබඳ දැඩිසේ අවධාරණය කරමින් පරිසර අමාත්‍යවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත. යහපාලන ආණ්ඩුව තුලින්ද පසුගිය රජය සමයේ මෙන්ම රටේ පරිසර සම්පත් අමතක කර සංවර්ධනය සිදුකරන්නට යයි නම් එය දරුණු අපරාධයක් ලෙස සලකා වලක්වාලිය යුතුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles