Wednesday, May 1, 2024

වගුකඩු රෝගීන්ට සහනයක්..

අද වන විට වකුගඩු රෝගීන්ට රුධිර පෙරණ ක‍්‍රියාවලිය දින දෙක තුනකට වරක් සිදුකිරීමට සිදුව තිබෙන අතර ඒ එක් පෙරණ අවස්ථාවක් සඳහා රුපියල් දස දහසක් වැනි අධික පිරිවැයක් දැරීමට සිදුව තිබේ. මෙම රුධිර පෙරණ ක‍්‍රියාවලිය සඳහා භාවිත කරනුයේ ලවණ සාන්ද්‍රණයක් වන අතර එම ලවණ සාන්ද්‍රණය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) විද්‍යාඥයින් විසින් නිෂ්පාදනය කිරීමට සමත්ව තිබෙන බවත් එය පේරාදෙනිය වෛද්‍ය පීඨය විසින් සාර්ථක ලෙස අත්හදා බැලීම් සිදුකොට තිබෙන බවද කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) අධ්‍යක්ෂ ජෙනරාල් ජී. ඒ. එස්. පේ‍්‍රමකුමාර මහතා සඳහන් කර සිටී.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (20) උදෑසන කාර්මික තාක්ෂණ ආයතනය විසින් ජලයේ පවතින ෆ්ලෝරයිඞ්, ආසනික් හා කැඩිමියන් පෙරණය කරනු ලබන ජලය පිරිසිදුකරණ උපකරණ බෙදාදීමේ උත්සවය අමතමිනි.

ලංකාවේ පවතින වකුගඩු රෝගයට පිළියම් සඳහා තව තවත් ක‍්‍රමවේදයන් අත්හදා බලමින් පවතින බවත් මෙම රුධිර පෙරණය සඳහා අවශ්‍ය වන ලවන සාන්ද්‍රණය ශ‍්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කර ඉතා අඩු මුදලකට වකුගඩු රෝගීන් වෙනුවෙන් සෞඛ්‍ය සේවාවන් හරහා මෙම පෙරණ සේවාව ලබාදීමට කටයුතු කළ හැකි බවද පේ‍්‍රමකුමාර මහතා පෙන්වා දෙයි.

අදවන විට වකුගඩු රෝගය රටේ ප‍්‍රධාන ගැටළුවක් බවට පත්ව තිබෙන අතර උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල තිබෙන මෙම ගැටළුවට ප‍්‍රතිකර්මයක් ලෙස විවිධ වූ ප‍්‍රතිකර්ම අත්හදා බලමින් තිබෙන බවත් ජාතික පර්යේෂණ සභාව හරහා මිලියන 50 ක පමණ මුදල් ප‍්‍රමාණයක් වෙන්කොට වකුගඩු රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතින බවද පේ‍්‍රමකුමාර මහතා සඳහන් කරයි.

ප්‍රේමකුමාර මහතා ජල පෙරණ ප්‍රදානය කරමින්
ප්‍රේමකුමාර මහතා ජල පෙරණ ප්‍රදානය කරමින්

ලංකාවේ වකුගඩු රෝගය ව්‍යාප්තවීම කෙරෙහි බලපානු ලබන්නේ ජලය ද යන්න මෙතෙක් නිශ්චිතවම සඳහන් කළ නොහැකි අතර ලංකාවේ ප‍්‍රධාන විද්‍යාඥයන් ඒකරාශී වී මේ පිළිබඳව පර්යේෂණ ගණනාවක් ක‍්‍රියාත්මක කොට තිබේ. මෙහිදී ජලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර ජලය මාර්ගයෙන් එන විවිධ රසායනික සංයෝග හරහා මේ තත්ත්වය ඇතිවේ යන විශ්වාසය මත මෙම පර්යේෂණ කටයුතු සිදුවන බවද පේ‍්‍රමකුමාර මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

අද බෙදා දුන් මෙම ජල පෙරණ උපකරණ කාර්මික තාක්ෂණ ආයතනයේ ද්‍රව්‍ය තාක්ෂණ අංශයේ සැලකිය යුතු කාලයක පරීක්ෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ එළි දක්වන ලදි. ඒ අනුව ගිය වසරේ 1000 කට ආසන්න ජල පෙරණ යන්ත‍්‍ර ප‍්‍රමාණයක් වයඔ පළාත් සභා බල ප‍්‍රදේශය තුළ ජීවත්වන ජනතාව වෙත බෙදාදීම සිදුකර තිබේ.

දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් අපේ රටේම නිෂ්පාදනය කරන මෙම ජල පෙරණ 100% ක්ම ස්වභාවික වන අතර විශේෂයෙන්ම ෆ්ලෝරයිඞ්, ආසනික් හා කැඩිමියන් වැනි බැරලෝහ පෙරා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම මෙම පෙරණ උපකරණ භාවිතයද පහසු වේ.
මෙම අවස්ථාවට කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් වන රාධිකා සමරසේකර, ආනන්ද පන්නිල, ප‍්‍රසන්න කළුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත්හු රැසක් එක්වී සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles