Friday, May 3, 2024

රේඛාව-මනමේ කලාකරුවන්ට අගමැතිගෙන් උපහාර

රේඛාව චිත්‍රපටියට සහ මනමේ නාටකයට වසර හැටක් පිරීම නිමිත්තෙන් එම නිර්මාණයන්ට දායක වූ දැනට ජීවත්ව සිටින කලාකරුවන්ට උපහාර පිදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (25) හවස සිදු කෙරිණි. ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව ටවර් හෝල් රඟහල පදනම විසින් මෙම උපහාර සන්ධ්‍යාව සංවිධානය කර තිබිණි.

රේඛාව සිනමා පටයේ අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට මෙහි දී අගමැති වික්‍රමසිංහ මහතා අතින් විශේෂ උපහාරය පුද කෙරිණි.

රේඛාව චිත්‍රපටයට දායක වූ සුජීවත්ව සිටින අයිරාංගනි සේරසිංහ, මල්ලිකා පිලපිටිය, ඉන්ද්‍රානි සේනාරත්න, එම චිත්‍රපටියේ නිමල්ගේ චරිතය රඟ පෑ ආනන්ද වීරකෝන්, විමලධර්ම දියසේන සහ ආතර් සිල්වා, මහත්ම මහත්මීන්ට ද මනමේ වේදිකා නාට්‍යයට දායක වු සුජිවත්ව සිටින නන්ද අබේවික්‍රම, හෙක්ටර් පීරීස්, ලයනල් ප්‍රනාන්දු මහත්ම මහත්මීන්ට ද මෙසේ උපහාර පිදිනි.

මනමේ සහ රේඛාව අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම සඳහා වැඩ පිළවෙළක් සකස් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ටවර් හෝල් රඟහල පදනමට භාර දී ඇති බව උපහාර උළෙලේ දී ප්‍රකාශ කෙරිණි.

මනමේ සහ රේඛාව කලා නිර්මාණයන්ට දායක වූ මෙම කලාකරුවන්ට කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ නොමිලේ ප්‍රතිකාර ලබා දීමට අගමැති වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇති බව ද එම කලාකරුවන්ගේ නාම ලේඛනය ජාතික රෝහලට යවා ඇති බව ද ප්‍රකාශ විය.

1956 නොවැම්බර් 3 දා කොළඹ ලයනල් වෙන්ටඩ් කලාගාරයේ දී මනමේ නාටකය මුල්ම වතාවට වේදිකා ගත කෙරුණු අතර 1956 දෙසැම්බර් 28 දා රේඛාව චිත්‍රපටිය කොළඹ රීගල් සිනමාහලේ දී තිරගත කෙරිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles