Monday, May 6, 2024

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  ඔහු  විසින් රචිත නවතම කෘතිය වන “ප්‍රවේසමෙන් මූල්‍ය අගාධයක් ඉදිරියෙන්”  කෘතිය අද දොරට වැඩීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.

එම උත්සවය අද පස්වරු 3ට කොළඹ 7 පදනම් ආයතනයේදී ආරම්භ විය.

පසුගිය කාලයේ දේශපාලන ආර්ථික හා සමාජයීය පරිසරය තුළ සංවාදයට බඳුන් වූ කරුණු බොහෝමයක්  බලය සහ බලය පොතින් චම්පික රණවක ඇමතිවරයා අනාවරණය කළ අතර එහි දෙවැනි අදියර ලෙස ආලාපාළු ආර්ථිකය එළිදැක්වූ අතර ඉන් පසු එළිදැක්වුණේ මෙම පොතය.

එහි  තිබූ විශේෂත්වය බවට වූයේ ඩ්‍රෝනා කැමරා භාවිත කරමින් ඇමතිවරයාට පොත පිළිගැන්වීමට කටයුතු යොදා තිබීමයි.

මේ සඳහා ඩ්‍රෝනා කැමරා ත්‍රිත්වයක් යොදාගැනීමට සංවිධායකයන් කටයුතු කර තිබූ අතර  යහපාලන විප්ලවය, ජාතික ගිණුම් සංකල්පය, අය-ණය හා වැය, කළයුත්තේ කුමක්ද? යන පරිච්ඡේද හතර පමණක් නව කෘතියට ඇතුළත් කිරීමට ඔහු කටයුතු කර තිබිණ.

එහිදී උත්සව සභාව අමතමින් පාඨලි චම්පික රණවක මහතා කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවයි.

තවද මෙරට අධිකරණය ස්වාධීන වුවද එහි කළමනාකරිත්වයක් දක්නට නොමැති බවත්, එහි කළමනාකාරිත්වයක් ඇති කළ යුතු බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

අද වනවිට රට තුළ මූල්‍ය අර්බුදයක් තිබෙන බවත්, එහි පියවරු යහපාලන ආණ්ඩුවම නොවන බවද ඒ මහතා කියා සිටියේය.

ණය සහ පොලීය ගෙවීමට ආණ්ඩුවේ ආදායම් ප්‍රමාණවත් නොමැති බැවින්  දෛනික වියදම් පියවා ගැනීම සඳහා මෙන්ම රාජ්‍ය ආයෝජන සිදුකිරීම සඳහා ණය ලබාගැනීමට සිදුව ඇතැයිද අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

අමාත්‍යවරයාගේ නවතම කෘතිය එළිදැක්වීමේ උත්සවයේ මූලසුන හොබවමින් දේශනය සිදුකළේ  වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ‍ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමින්ද මෙත්සිල මහතාය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, වෘත්තිය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles