Tuesday, December 7, 2021

දරුවන්ට වෙනස්කම් කරන්න එපා..! NO BULLYING!

පාසලෙන් එල්ලවන නින්දා අපහාස ගැරහුම් දරාගැනීමට නොහැකි තැන හතර ශ්‍රේණියේ දැරියක් ගෙල වැලලාගෙන ජිවිතයට සමුදුන් පුවතක් පුවත් විකාශයේ මහා උජාරුවකින් මෙන් කියනවා ඇසුනි… හදවත මොහොතකට නතර වුයේ ඇයි දැයි මා නොදන්නා මුත් මුලින්ම සිතට ආවේ මෙච්චර පොඩි ළමයෙක්ට කොහෙන්ද මෙච්චර හිතේ හයියක් ?? කොහෙන්ද මේ තරම් මුරණ්ඩු සිතක්??

වරද ඒ දරුවාගෙ නොවේ… ළමයින්ගෙ මනස සුදෝ සුදු කඩදාසියක් මෙන් බවත් ඒ අවර්ණ කඩදාසියෙ නෙක නෙක වර්ණයෙන් රටා අදින්නෙ වැඩිහිටි ඔබ සැම බවත්, ඒ අදින පාට පාට රටා ඒ දරුවාගේ සිත නැමති කඩදාසියේ සදාකාලික සිතුවම් වන බවත් මම ඔබට වරක් කියා ඇත්තෙමි… බෙහෙත් විදීමට පාසලට ආ කාලයේ පෝරකයට යන්නාක් මෙන් ඒ අවස්තාවට මුහුණ දුන් අපි ඉන්ජැක්සන් කටුව දුටුවේ හන්දියෙ මාළු කඩේ මාළු කපන පිහිය මෙන් ය.. ඒ තරමට සුලු කම්පනයකට පවා ඔරොත්තු දීමට එකල අපේ සිත මෙන්ම ගතත් සුදානම් නැත.. ඒ අප ගත කල ළමා කාලය අද දරුවන් ගත කරන ළමා කාලයට වඩා සෑහෙන වෙනස් ය.. ඒ වෙනස ඇති කළේ කවුද?? ඒ වෙනස ඇති කලේ පාසල ගුරුවරු ඇතුලු සමස්ථ අද්‍යාපන පද්ධතිය විසිනි…

වසර තුනක් පමණ වන තෙක් මලක් මෙන් ඇති දැඩි වන දරුවා ගලක් මෙන් දැඩි වන්නේ පෙර පාසලෙන් හා ප්‍රාථමික පාසලෙන් බව මා ඔබට කීවත් විශ්වාස කරනවාදැයි නොදනිමි.. නමුත් සත්‍ය ඒකය… දරුවන්ගෙ සිත් සමඟ පරිස්සමට ගනුදෙණු කළ යුතුම කාලයේදි ඊට ගැලපෙන ගුරුවරු ඇතුලු වටපිටාවක් පාසල තුල තිබිය යුතුය.. නමුත් සෑබෑවටම වන්නෙ එය නොවේ.. ළමා මනෝවිද්‍යාව ගැන මුලීක දැනුමක්වත් ප්‍රාථමික ශ්‍රේණි වල ගුරු භවතුන්ට ලබා දිය යුතු බව මගේ නම් පෞද්ගලික අදහසයි.. බොහෝ පාසල් වල ගුරු අතිරික්තයක් ඇති සෑම විටම ඉහළ ශ්‍රේණි වල ඉගැන්වු ගුරුවරුන් ප්‍රාථමික ශ්‍රේණි වල ඉගැන්වීමට ආදේශ කරන බව නොරහසකි.. ඉළන්දාරි ලමිසිස්සියන් වැනි මුරණ්ඩු සිත් ඇති උන් සමඟ ගනුදෙනු කර පුරුදු ඇති ගුරුවරයාට සමාජයට අලුතින්ම එලිපත්ත පනින දරුවෙකු සමඟ හැසිරෙන ආකාරය අමුතුවෙන් ඉගැන්විය යුතුය… එසේ කිරීමට බැරි නම් ඔවුන් ව ඒ සඳහා නොයෙදිය යුතුය… දරුවෙකු මලක් මෙන් පිපෙන්නට පෙති දිග හරින විටම ඒ මල් පොහොට්ටු තලා පෙලා දමන ගුරුවරුන් පිලිබදව මම මගේ කතාව ඇසුරින් ඔබට කියා ඇත්තෙමි.. ඒ කතාව ඊයේට වඩා අදට කාලෝචිත එකක් නිසා මා එය නැවත පල කිරීමට සිතුවෙමි… ඒ වෙන කිසිවක් නිසා නොව ළමයෙකුගෙ මනස මේ ආකාරයැයි ඔබට නැවත වරක් මතක් කර දීම සුදුසු බව මටම හැඟුන නිසාය..

හිතක් තැලීම 😞———————(මා ලියු දිගම පෝස්ටුව මෙය වනාතර කියවන්නට කිසිවෙක්ට බල කිරිමක් නැත)

ජිවිතයට මා හුදෙකලාව මුහුණ දෙන්ට පටන් ගත්තෙ බොහොමයක් දරුවන් තමන්ගේ මවගෙ පපුවෙහි හිස හොවාන උනුසුම සෙවු පියාගෙ අතේ එල්ලි එල්ලි හුරතල් බස් දොඩන අවදියෙ සිටය. එනිසා බොහොමයක් දෙනෙකුට වඩා මගෙ හදවතෙ තුවාල වැඩිය. හුදකලාව තුල මා විදි චිත්ත පීඩාවන් සාංකාවන් හා මානසික ඇද වැටීම් බොහෝය. ළමා මනෝවිද්‍යාව පිලිබදව දේශනයක් පැවැත්වීමට තරම් ඒ අත්දැකීම් ප්‍රබලය. දිනෙක එවන් දේශන මාලාවක් කිරිමට මගෙ සිතේ අසාවක්ද ඇත. එහෙයින් එව්වායින් කීපයක් ඔබගෙ අවධානය පිනිස මෙලෙස ලියා තබමි. මක් නිසාද යත් ඔබ අතින් ඔබේ දරුවාට මට උන දෑ සිදු නොවනු පිණිසය. අද මේ සිදුවීම් දෙස පරිණත වැඩිහිටියෙකු ලෙස උපේක්ශාවෙන් බලන කල එම සිදුවීම් මට වැඩිහිටියෙකු ලෙස තේරුම් ගැනිමට තරම් සමත්කමක් තිබබ්.නමුත් එවකට මා කුඩා දරුවෙක් සමයෙහි එකී සිදුවීම් නිසා මසිතෙ ඇති උන කම්පාවන් රික්ටර් මාපකයේ 9 ට එහා ගිය සුනාමි අනතුරටත් වඩා ප්‍රභල කම්පාවන් ය. එහෙයින් එසමයෙ හි මා උන් ළමා මනසින් මෙතැන් සිට ලියමි.


අවුරුදු 2 සිට 8 දක්වා මගෙ ළමා කාලය ගෙවී ගියෙ නිවසට වඩා ඩේ කෙයාර් සෙන්ටර් වලය. උදේම ඩේ කෙයාර් එකට මා දමා රැකියාවට පිටත් වන තාත්තා නැවත හවස 7 ට පමණ මා අඩ නින්දෙ සිටින විට නිවසට රැගෙන යයි. නිවසේ මා බලා ගැනීමට කිසිවෙකුත් ගැහැනියක නොඋන්නේය. මගෙ සහෝදරයින් මට වඩා වයස් පරතරය අතින් වැඩි නිසාත් ඔවුන් සමග මා දමා යෑමෙන් ඔවුන්ගෙන් මා නිතර ගුටි කන නිසාත් එසේ කරන්නට ඇත. ජපන් පන්සලේ ඩේ කෙයාර් එකෙ උන් අවුරුදු 5 ක කාලය තුළ මා මුහුණ දුන් කටුක සැර පරුෂ සැලකීම් මෙතකැයි කිව නොහැක. ඩේ කෙයාර් එක අතරතුර උදෑසන එහිම තිබු පෙර පාසලට මා ඇතුලත් විය. එවකට වයස. තුනාමාරක් පමණ වන්නට ඇති නමුත් මේ සිද්ධිය මට මැරෙන තුරාවට අමතක නොවේ.

පෙර පාසලෙ ළමයෙකුගෙ උපන් දිනයක් ඇති දාක ඔහු විසින් කේක් ගෙනවිත් අනෙක් ළමුන්ටත් බෙදා දී උපන් දිනය සැමරීම අදද කෙරෙන වැඩකි . කුඩා දරුවන් වන අප එකල කේක් චොකලට් යනාදි පැණිරස කෑම ට මහත් රුචිය. දරුවන්ගෙ හැටි එහෙමය.මාද එවන් පෙරේතියකි . ගෙදරදි කොපමණ දේ කෑවත් මෙවන් විටෙක ලැබෙන ආහාරයක් අපට ඊට වඩා රසය. එදාද එවන් උපන් දිනයකි. කේක් කපා හැෆි බර්තේ සෝන්ග් එක කියා අත් පුඩි ගැසීමෙන් පසු අප කටවල් ඇරන් බලා ඉන්නෙ අපගෙ කේක් කෑල්ල ලැබෙන තුරුය. ඉතින් ටීචර්ලා දෙන්නා විසින් කේක් බන්දේසියක තබා පේලි දෙපැත්තෙ උන් ළමුන්ට බෙදාගන යන අතර තුර මාද කෙල උනමින් බලා උන්නෙ නමුදු මා උන්නෙ පන්තියෙ අන්තිම පේලියෙ කෙලවරේම පුටුවේය. කේක් තසිම දිහාම බලාන උන් මා අසලට ටීචර් එන විට එහි ඉතුරුව තිබුනෙ එකම එක කේක් කෑල්ලක් පමණෙකි. අප දෙදෙනෙක් ඉතුරුව උන්හ. ගුරුතුමී අර ඉතුරු කෑල්ල මට එහා අසුනෙ උන් ළමයාට පිළිවෙලට දී බන්දේසිය රැගෙන යන්ට ගියේය. මට කෑල්ලක් නොලැබුනි. නමුත් මා සිතාන උන්නෙ ගුරුතුමී ඇතුලට ගොස් නැවත පැමිණ කේක් කෑල්ලක් රැගෙන විත් මටද දෙනු ඇතැයි කියාය. මා ඇතුල් කාමරයේ දොර දෙසම බලා උන්නෙ ඒ අපේක්සාවෙනි . මදක් වේලා ගතවිය. ගුරුතුමී ආවේ නැත. දහවල් විවේක කාලය අවසන් විය නමුත් මා දෑස් දල්වාගෙන දොර දෙසම බලා උනිමි. ගුරුතුමී ආවේය. ඒත් ඈ අත මගේ කේක් කෑල්ලවත් බන්දේසියක්වත් නොතිබුනි. ඒ වෙනුවට ගෙදර වැඩ පොත අරන් හෝම් වර්ක් ලියා ගන්ට යැයි ඈ අපට කී‍වේය.

“මටත් කේක් කෑල්ලක් ඕනා ටීචා ” කියා කෑ ගහන්නට තරම් නිර්භීතකමක් මට එදා නොවීය. මා බොහොම කුලෑටි දරුවෙක් විය. මුහුණ කජු ලෙල්ලක් මෙන් ඇඹරිනි. දෑස් වලට මහා වේගයෙන් කදුළු උනන්ට විය. නමුත් මා හඩනවා ඈට එදා නොපෙනිනි. ගුරුතුමී මට පමණක් එසේ කලේ ඇයි ?? ගෙදර ගොස් මා එය කාටවත් කීවෙ නැත. කීවා නම් මට කන්නට කියා කේක් කිලෝ දහයක් හරි තාත්තා ගෙනවිත් දෙනවාය. නමුත් ප්‍රස්නය එය නොවේ. මා ගුරුතුමිය අතින් කොන් උනා නේදයි යන හිතේ අමාරුව මට පෙර පාසලෙන් සමු ගන්නා දා වනතෙක් ම තිබුණි. ඉන් පසු පෙර පාසල මට මහා අප්‍රසන්න තැනක් විය. ගුරුතුමිය දෙස මා දෑස ඔසවා කිසි දිනෙකවත් නොබැලුවෙමි. අද මා වැඩිහිටියෙකු ලෙස අනෙ එදා ටීචර්ට අමතක වෙන්නැති නැත්තම් එයා දෙනවනෙ කියා මට තේරුම් ගත හැකිය. නමුත් ඈට ළමයින් සමග ගනුදෙනු කිරිමේදි ඊට වඩා පරිස්සම් වන්නට තිබුනා නම් මගෙ පෙරපාසල් දිවියත් මට ලස්සන මතක සහිත එකක් වන්නට තිබුනා නොවේද????


දෙවියන්ගෙ ලෙඩ නමින් හදුන්වනා බෝ වන රෝගයක් මට කුඩාකල වැළදිනි. එවකට මා උන්නෙ දෙක වසරේය. සති දෙක තුනක් පමන නිවසට වී විවේක සුවයෙන් ගත කර රෝගය නිට්ටාවටම සුව කරගෙනය එදින මා පාසලට ගියේ.පාසල් වෑන් රියෙන් බැස පන්තියට යන අතරතුර පන්තියෙ ළමේක් හා ඇගේ මව මට හමු විය. මට දසන් දක්වා සිනාවකින් සංග්‍රහ කල ඈ මට යන්නට ඇර මගෙ මිතුරියට කීවෙ ” අර ළමයා ලඟටවත් යන් එපා. එයාට දෙයියන්ගෙ ලෙඩ හැදිලා ඇවිත් තියෙන්නෙ. ඔයාටත් හැදෙයි” කියයා. පිටුපා යන මට කනේ තිබ්බාක් මෙන් ඒ වචන පැහැදිලිව ඇසුනි. ඒ නමුත් ඒ තරම් යමක් නොහිතු මා බිම බලාන පන්තියට ගියෙමි දෑස් උඩ ගියෙ මා උන් ඩෙස්ක් එක හා පුටුව අප කණ්ඩායමෙන් ඉවත් කර තනි කොට මුල්ලකට කර තිබෙනු දැකිමෙනි. ඇගට එතරම් ශක්තියක් නොතිබුනත් මා බෑගය පසෙක තබා මගෙ ඩෙස්කුව කාන්ඩායමෙ අනික් ඩෙස්ක් එක ලගින් ඔසවා තබන්ට වෑයම් කරන විට වහාම පන්තිභාර ගුරුතුමී පැමිණ මට කීවෙ ” පුතේ ඔයා ටික දවසක් ඔතන ඩෙස්ක් එකෙ තනියම ඉන්න ” කියයා. මා ගුරුතුමීගෙ මූණ බැලුවෙ “ඒ ඇයි ටීචා?” අසන්නටය. නමුත් පිළිතුරක් නොදීම ඈ ගොස් ය. හිත ටිකක් රිදුන මුත් මා එතන වාඩි ගතිමි, පපුවට බරක් දැනුනෙ ගුරුතුමීගෙවත් අර ළමයාගෙ අම්මාගෙවත් හැසිරීමට නොවෙ. දවල් විවේක කාලයේදි අප කන්ඩායමෙ ගෑනු දරුවන් එක්ව හැමදාම කල අල්ලන සෙල්ලමෙන් මා ඉවත්කොට ඇති බව දැන ගැනිමෙන් පසුවය මගෙ පපුව රිදෙන්නට ගත්තෙ. මම ගෙදර ගොස් දවසම ඇඳ යටට ගොස් සැඟවි උනිමි. මට දුකක් වු විට ඔඩොක්ක්කුවට පැන අඩන්නට මවක් මට නොඋන්නාය. මා එවන් අවස්ථා වල ඇඳ යට ට වී සැග වී කවුරුන් හෝ මා සොයා එනතෙක් ඉදිමි. පහුවදා උදේ තාත්තා මා පාසල් කැදවාන යන්ට අපමණ වෙහෙසක් දැරුවත් මා නොවේ නිවසින් පිටට එක අඩියක් තැබුයෙ.

බෝ වන රෝගයකට හේතු වන වෛරසය රෝගියෙකුගෙ සිරුරෙ සක්‍රීයව පවතින්නෙ සති 2 ක් පමණි යන ජීව විද්‍යා පාඩම මගෙ ගුරුතුමී හෝ පන්තියෙ ළමුන්ගෙ දෙමාපියන් එදා ඉගෙන තිබුනා නම් දෙක වසර පන්තිය හා එහි උන් යෙහෙලියන් එදා පටන් මට වෛරක්කාරයන් මෙන් පෙනෙනෙන්ට නොතුබුනා නොවෙද? කුඩා දරුවන්ගෙ සිත් සුදුම සුදු කඩදාසියක් මෙන්‍ ය. එහි නොයෙක් වර්ණ වලින් නෙක නෙක රටා මවා ඒ සුදු කොලය පුරා පැල්ලම් තබන්නෙ වැඩිහිටි ඔබය. ඇතැම් විට ඒ ඇති කරන පැල්ලම් ඒ දරුවාගෙ ජිවිත කාලය පුරාවට සෝදා ඇරිය නොහැක. ඔබට දරුවන් දෙතුන් දෙනෙකු සිටිත් නම් හෝ එක් දරුවෙක් සිටින විටක තවත් දරුවෙකු ලබයි නම් ඔබේ අවධානය මුලුමනින්ම යොමු වන්නෙ අර අලුත උපන් දරුවාටය. ඒ හැටිය. ඔබ විතරක් නොවෙ ඔබේ සමාජයද එසේය. ඔබේ අලුත උපන් දරුවා බලන්නට තෑගි බෝග රැගෙන ඔබේ නිවසට එන හිත වතුන් ඔබේ අනික් දරුවන්ට ලොසින්ජරයක්වත් රැගෙන නොඑන්නෙ නම් අර දරුවන්ගෙ සිත් වල අලුත උපන් දරුවා ගැන තරහවක් ඉරිසියාවක් වෛරයක් ඇති වෙයි. වෛරය අර දරුවන්ගෙ සිතට දාන්නෙ ඔබය. ඔබේ මහලොකු සමාජය ය. ඒ වෛරිය මතකය නිසා සහෝදර ප්‍රේමයන් පවා පලුදු වී යා හැක.

අලුත උපන් දරුවෙකු බලන්නට හෝ යම් නිවෙසක දරුවෙක්ගෙ උපන් දින සාදයකට සහභාගී වන විට එම නිවසෙ හිදින අනික් දරුවන්ටත් සීනි බෝලයක් හෝ ගෙන යෑමට තරම් සාමාන්‍ය දැනීමක් ඔබට නැත්තම් ඔබේ අතින් බිමටම සමතලා වන්නෙ තවත් දරුවෙකුගෙ මානසිකත්වයයි. මා දකින බොහෝ දෙමාපියන් තම එක් දරුවෙකුගෙ හෝ දරුවන් දෙතුන් දෙදෙනෙකුගෙ වර්ණනාව තම නිවසට පැමිණෙන උන් සමඟ මහා ඉහලින් වරණෙනා කරන අතර ඉගෙනීමට අදක්ෂ හිතුවක්කාර දඟ ළමයා අනික් උන් ඉදිරියෙ පාච්චල් කරයි. ඔබ සමතලා කරන්නෙ ඒ දරුවාගෙ පෞරුශත්වය හා ස්වයං අභිමානයයි. ඉන් පසු ඔහු ඔබට වෛර කරන්නට පටන් ගන්නා අතර ඊට වැරදිකරු කවුද? පාසලේදි ඔබේ දරුවාට හදිසියේ ශාරිරික අවශ්‍යතාවක් සුලු දිය පහ වීමක් හෝ සිදු වුණහොතින් ගුරුවරුන් එම දරුවාට බැණ වැදි අනෙක් ළමුන් ඉදිරියේ විහිලුවට ලක් කරන සමාජයකි මේක. සමස්ත ගුරු පද්ධතිය තුල අර ගුරු ගීතයේ දුයිශෙයින්ලා වන් ගුරු උත්තමයෝද වෙත්. එවන් උතුමන් උත්තමාවියන් පසු කලෙක මටද හමු වි ඇත. නමුත් බාලාංශ පන්ති වල සිටින බොහොමයක් ගුරුවන් දරුවන්ගේ සිතුවිලි හැසිරෙන ආකාරය වටහා ගන්නට හෝ ඊට අනුකූලව ප්‍රතිචාර දක්වන්ට නොදන්නා අයය.


මගෙ නම් යෝජනාව බාලාංශ පන්‍තියෙ දි ළමයාගෙ සිත බිමට සමතලා නොවීමට නම් අදාල පන්ති වල ගුරුවරුන්ට ළමා මනෝ විද්‍යාව පිලිබද යම් තරමක හෝ පරිචයක් ලබා දිය යුතුය. නැති නම් දුෂ්ට සිත් අබියස සිඟිති හිත් කී දාහක් මලානික වෙයිද හෙටත්?? දෙමාපියන් දෙදෙනාම සිටින දරුවන්ට වඩා දෙමාපියන් දෙදෙනාගෙන් එක් අයෙකු අහිමි හෝ දෙදෙනාම අහිමි දරුවන් විසාල සමාජ කොන් විමකට ලක් වේ. මගෙ අත්දැකීම් බොහොමයක ට හේතුවත් ඒකය. මා පිළිබද පසු පසින්ම ඉද හොයා බලන්ට ලගින් ඉදන් ආදර බසක් කියන්ට මවක් උන්නෙ නැත. අනික් මා වන් ගෑනු දරුවන් මල් මල් ගවුම් ඇද පව්ඩර් ගාගෙන බෝල ගෙඩි මෙන් පාසල් එද්දි මා ඔහෙ හැමදාමත් ජරාවට උන්නෙය. ඔළුව මාස ගානකින් පිරන්ට වෙලාවකට මට උවමනා නැත. සමහර විට යුනිෆෝම් එක දවස් ගනන් නොසෝදා ඒකම අදින්නෙ ත් ඒවා සෝදා දෙන්ට කාලයක් වත් මා පියාට නොතිබු නිසාය. එහෙත් ඔහු මට කිසිදු අඩුවක් නොකළේය. සමාජ පන්තිය තුල අපට මොනාකාරයක පිලි ගැනිමක් තිබ්බත් මවක් නැති නිසා මා හැමදාමත් හැම තැනකදිම පසුගාමි උනෙමි.

පාසලෙ විවිධ ප්‍රසංගයට මට පාට පාට ඇදුම් අන්දවා මේකප් දමන්‍ට මගෙ මව උන්නෙ නැත. අනික් ගෑනු දරුවන්ගෙ මවුවරුන් ලහි ලහියෙ ඔවුන්ට මේකප් දමා අහවර වන තෙක් ස්ටේජ් එකට නගින්ට විනාඩි 5 ක් තිබියදි යාන්‍තම් මගෙ කොස්ටියුම් එක ඇග වටේ ඔතා දමා කටේ ලිප්ස්ටික් තලියක් උලා දමන්ට මහා කරදරකාරි හැගිමකින් කාගේ හෝ මවක් ඉදිරිපත් උවත් ඈ එම කාරිය කරන්නෙද “අයියො ළමයා අනික් දවසෙ ගෙදර කෙනෙක්ට එන්ඩ කියන්නකො ඔයා නිසා හැමෝටම පරක්කු වෙනවා ” කියා බැණ බැණය. ජිවිත වල හැටි එහෙමය. ඔබේ දරුවා ඔබේම අතින් නිවසේදි මානසික අපහරණයට ලක් වේ.නිවසින් පිටතදි ඒ දරුවා පාසලේ ගුරුවරුන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් මුලු මහත් සමාජයෙන් මානසික අපහරනය යට ලක් වේ., ඒ පිළිබදව ඔබ දැනුවත් ද? ඔබේ දරුවා නිවසේදි පෙන්වන හැසිරීම පසුගාමී නම් පාසලේදි හැසිරීම පසුගාමී නම් අනිවාර්‍යෙන් එතන ඔබේ දරුවා මුහුණ පාන ඔබ නොදන්නා ගැටලුවක් තිබිය හැක. දරුවෙකු කුඩා අවදියේදි මේ ආකාරයෙන් මානසික පීඩාවන්ට ලක් විම තුලින් පුරවැසියෙකු ලෙස අනගාතයේදි ඔහුට ස්වාධීන මිනිසෙකු වන්නට ඇති හයි හත්තිය ඔහු කෙරෙන් තුරන් කරයි. වඩාත් ලජ්ජාශීලි කෝල සහගත මුල්ලකට වී සිටින චරිත පිලිබද නිරික්ෂණය කළහොත් ඔවුන්ගෙ කුඩා කාලය අදුරු මතක වලින් ගහණ එකකි. තවත් මගෙ අත්දැකීම් ලියන්ට ගියහොත් ඔබට මගෙ ලියවිලි පවා එපා වන තරමට මේක දිග වැඩි වන්නට ඉඩ තිබේ. මා සිනා නුවුනත් යමෙකු මා නිසා හෝ පෙරලා මට සිනා සෙන්නෙ නම් එයින් මා දැන් ලබන්නෙ නිරාමිස සතුටකි. සිනාවක් නැති මා සිනාව උපදවීමම සිනාවට කරුනක් ය.


සමහර විට අප තව උන්ට බනින්නෙ උන්ට තිබෙන්නෙ ළමා මනසක් බව කියමිනි. නමුත් වැඩිහිටි අපෙ කුනු කන්දල් වලින් ඔද්දල් උන මනසකට වඩා ළමා මනසකින් ජිවිතය දකින්නට මන් නම් හෙනම ආසය. ඔබේ දරුවාගෙ මනස දකින්නට නම් ඔබ දරුවා සිතන තැන සොයාගෙන එතන් පටන් දරුවෙකු ලෙස සිතිය යුතුය. ඔබට තේරෙන පරිදි මෙලොව ඇති සියුම් ම පටලය කාන්තාවකගෙ කන්‍යා පටලය නම් ඔබෙ දරුවාගෙ මනස එකී පටලයටත් වඩා සියුම් ය. කැඩෙන බිදෙන රිදෙන සුලුය. ඔබ දෙමපියන් ලෙස මෙලොවට ජනිත වී ඇත්තෙ ඒ සියුම් පටලය රැක බලාගන්නට නොවෙයිද? ❓❓දරුවන් සිය දෙමව්පියන්ට පමණක් නොව අසල්වැසියන්ගේ දෙනෙතටද මනරම් සැරසිල්ලක් වෙයි. දරුවෝ මල් වලට සමාන කරති. ඒ ඔවුනගේ අව්‍යාඡබව, සුසිනිදුබව හා අවිහිංසක බව නිසාය. ලස්සන හැදෙන්නේ මේවායේ එකතුවෙනි. ඔවුනගේ අභ්‍යන්තරය සුපිරිසිදුය. එබැවින් ඔවුනගේ අධ්‍යාත්මය අපට විනිවිද පෙනේ. ඒවා මිනිස්කමින් පොහොසත්ය. අධ්‍යාත්මය අපිරිසිදු අවලක්ෂන මිනිසුන්ගෙන් පිරුණු පෘතුවිය හැඩ ගන්වන්නේ ඔවුහුය. පෘථිවි මාතාවනි, එබැවින් ඔවුන්ව වැඩිහිටියන් නොකරනු.

– චාන්‍යා හේරත්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles